සැඟවීගත් ඉතිහාසය 3 – යාපාමහ රජු යනු සීතාවක රාජසිංහ රජතුමා ද
සීතාවක රජසිංහයන් පිළිබඳ සැඟව ඇති පුවතක්
පසුබිම් විස්තරය
1505 දී ලංකාවට පැමිණි පෘතුගීසීන් එදා සිටම ගෙනගිය ක්‍රියාකලාපය සාමකාමී එකක් නොවීය. ඔවුන් විසින් බොහෝ විට කරන ලද්දේ කෝට්ටේ රාජධානිය කොල්ලකෑම බවත් ගම්බිම් ගිනි තැබීමෙන් වෙළඳාම් කිරීම පසෙක තබා ධනය පැහැර ගැනීමක් බවත් තහවුරු වී ඇති ඓතිහාසික පුවත් වෙයි. ඔවුන්ගේම පුරාණ ලේඛන වලින් ද ඒ බව හෙලිවේ. මෙතෙක් පැමිණි මුස්ලිම්වරු සාමකාමීව වෙළඳාමේ නිරතවූවන් වුවද පෘත්ගීසි වෙළඳ ප්‍රතිපත්තිය නමින් ගෙන ගියේ ආක්‍රමණකාරී වැඩ පිළිවෙලකි. ඔවුනට තමන්ම හැර මෙහිසිටි අන් සියල්ලන්ම පෙනුනේ තමන් විසින් ශිෂ්ටත්වයට ගෙනා යුතු ම්ලේච්ඡයන් පිරිසක් මෙනි. විජයබා රජතුමා කෝට්ටේ රජමාලිගය තුළ වෙඩිතබා මරාදමනු ලැබීමද ඔවුන්ගේ ක්‍රියාවක් බව පසුව පැහැදිලි වුවත් මුලදී එය පතුරවා හරින ලද්දේ මායාදුන්නේ ගේ ක්‍රියාවක් ලෙසිනි. මායාදුන්නේ මුලසිටම දැඩි පෘතුගීසි විරෝධියකු සේ ප්‍රසිද්ධියේම කටයුතු කළ කුමරකු විය. කෙසේ හෝ විජයබා රජතුමා මරා දැමීමෙන් අනතුරුව කෝට්ටේ රාජධානිය කොටස් තුනකට කැඩී දරුවන් තිදෙනා අතර බෙදී ගියේය. ඒ බුවනෙකබාවන්ට කෝට්ටේ ද රයිගම ප්‍රදේශය රයිගම් බණ්ඩාරයන්ට ද මායාදුන්නේ කුමරුට සීතාවක ද වශයෙනි.
කුමරුන් තිදෙනා අතර වඩා රණශූර කුමරා වූ ද නොබියව පෘතුගීසි විරෝධය පළ කරන ලද්දා වූද මායාදුන්නේ විසින් පියා මරාදැමූ බවට පැතිරවූ රාවය බාධකයක් වුවද මෙරට වැසියන් මායාදුන්නේ වටා රොක්විය. “පරංගි” නමැති පිළිකුල් සහගත වසංගතය මෙන් පිළිකුලෙන් සැලකූ පෘතුගීසින් පන්නා දැමීමට වෑයම් කළ මායාදුන්නේ වීදිය බණ්ඩාරයන්ගේ සහාය ගනිමින් කරන ලද උත්සාහයේ පලක් නොවූයේ වීදිය බණ්ඩාරයන් උක්ත අරමුණ තුළ එක දිගට නොසිටි හෙයිනි. කෙසේ හෝ ක්‍රි.ව. 1521 යනු සීතාවක යුගය ආරම්භවූ වකවානුව බවට පත්වෙයි. එසේ මායාදුන්නේ රජතුමාගෙන් ඇරඹෙන සීතාවක රාජධානිය පෘතුගීසීන්ට විරුද්ධව අනවරත අරගලයක යෙදුනු එකම රාජධානියයි.
සිංහල රාජධානි අතර සීතාවක යුගයක් ?
මේ යුගයේ ඉතිහාසය හදාරන්නට මෑතක් වනතුරු ලැබී තිබුණු මූලාශ්‍ර බොහොමයක්ම විදේශික වාර්තා සහ පෘතුගීසි පක්ෂයගත් ලේඛකයන්ගේ හෝ ඒවා ගුරුකොට ගනිමින් ලියා ඇති ලේඛනයන් පමණක් වීම මහත් අවාසියක් විය. විශේෂයෙන්ම පළමු රාජසිංහයන් පිළිබඳ මෑතක් වනතුරුම නිගමන ලබා ගෙන ඇත්තේ එවැනි ලේඛන ඇසුරෙනි. සීතාවක යුගය සම්බන්ධ දේශීය මූලාශ්‍ර පළමුවරට හෙලි කරන ලද්දේ මහාචාර්ය රිසිමන් අමරසිංහ ශූරීන් විය හැකිය. එතුමාගේ පර්යෙෂණ ආශ්‍රිතව හෙලිව ඇති තොරතුරු ඉතිහාසයට මහත් එළියක් විහිදුවයි. “ඓතිහාසික සීතාවක” නමින් 1990 ගොඩගේ ප්‍රකාශනයක් ලෙස එළි දැක්වූ පර්යේෂණ ග්‍රන්ථ රත්නය තුළ මානියම්ගම විහාරයේ තිබී හමුවූ සීතාවක “රාජසිංහ රාජ්ජකාලය” නම් වූ තල්පත පිළිබඳ අනාවරණය හා ඒ ගැන විග්‍රහය මෙතෙක් නොවූ විරූ, නොඇසූ අපූරු තොරතුරු රාශියක් හෙලි කරන ඉතා අගනා පර්යේෂණයකි. ඒ සමගම 1998 කර්තෘ ප්‍රකාශනයක් ලෙසින් එළි දකින එතුමාගේ “සීතාවක රාජධානියේ උන්නතියේද අවනතියේද සමහර අංශ පිළිබඳ විමර්ශනයක්” මැයෙන් එළිදක්වන අගනා නිබන්ධනයද සීතාවක යුගය ගැන හදාරන්නකුට ඉතා අගනා ග්‍රන්ථ රත්නයෝ වෙති.
උග්ගල් අලුත්නුවර හා සීතාවක රාජසිංහ
1580 දී මායාදුන්නේ රජතුමා විසින් තමන් වයෝ වෘද්ධව සිටි බැවින් ටිකිරිකුමරුට හෙවත් ටිකිරි රජ්ජුරු බණ්ඩාර යාපාවන් ට රාජ්‍යය පවරාදුන් බව පෙනේ. මේ දක්වාම රාජසිංහ යන නමක් සිංහල රාජවංශය තුළ කිසිදු තැනක හමු නොවේ. රාජසිංහ යනු එතුමාට ආදරය කළ සේනාව විසින් දී ඇති විරුද නාමයකි. පසු කලක පළමුවන රාජසිංහ යන නමින් ප්‍රසිද්ධ වන්නේ මේ රජතුමාය.
1582 යනු සීතාවක යුගයේ ස්වර්ණමය අවදියයි. මේ වනවිට පෘතුගීසීන්ට යටත්ව තිබූ මූදු බඩ සුළු පෙදෙසක් හැරෙනවිට අන් සෑම තැනක්ම පළමු රාජසිංහ ආධිපත්‍යයට යටත්ව තිබිණි. කලින් ලිපිවල ද පෙන්වා ඇති පරිදි උග්ගල් අලුත්නුවර වර්තමානයේ හමුවන ගොඩනැගිලි කරවා සතර කාර්තික මංගළ්‍ය ඇතුළු වත්පිළිවෙත් විධිවිධාන සලස්වා ඇත්තේ ද ක්‍රි.ව. 1582 ය.
සීතාවක රාජසිංහයන් කරවන ලද තවත් දේවාල
මේ වකවානුවේම තවත් දේවාල රාශියක් පළමු රාජසිංහයන් විසින් කරවන ලද බව ඉතිහාසගත පුවත් පෙන්වයි. උග්ගල් අලුත්නුවරට ආසන්නයේම ඇති බොල්තුඹේ දේවාලය කරවා ඇත්තේ ද කබුළුමුල්ල හා මැදගොඩ පත්තිනි දේවාලය කරවා ඇත්තේද පළමුවන රාජසිංහයෝ වෙති. සබරගමුව සමන් දේවාලය පිළිසකර කරමින් දෙල්ගමු විහාරයේ සඟවා රැකවරණය ලැබූ දළදා වහන්සේ වැඩමවා සමන් වෙහෙරවටා පෙරහර කරවා ඇත්තේද පළමු රාජසිංහයන් බව ප්‍රකට කරුණකි. පෙරහරේ ගෙනයන “මහබඹා” නැමැති අපූර්ව නිර්මාණය පවා එකල නිර්මිත වූවක්සේ සැලකෙන්නකි.
උග්ගල් අලුත්නුවර දේවාලයේ පුරාණ ලේඛන වල “යාපා” යනුවෙන් ව්‍යවහාර වි ඇත්තේ රාජ්‍යත්වයට පෙර මේ පෙදෙස්වල රාජසිංහයන්ට භාවිත වූ නම වියහැකිය. ඒවායේ රාජසිංහ යන නම හොෝටකිරිකුමරු යන නම හෝ දක්නට නොහැකි බව සැබෑවකි. එහෙත් “ටිකිරි රජ්ජුරු බණ්ඩාර යාපා” යන්න ද එතුමාට භාවිත වූ බවට ලේඛනගත සාක්ෂි මේ වනවිට ලැබී ඇත. ( මහාචාර්ය අමරසිංහයන්ගේ පර්යේෂණ නිබන්ධන) තමන් යන යුද්ධය දිනා දෙන ලෙස යදිමින් අලුතෙන්ම නුවරක් ඉදිකර නව දේව මන්දිරයක් ද ඉදි කරන බවට භාරවී තිබෙන බව කියවේ. ඒ ගැන පවසන දේවාල ලේකම් මිටිය හා කන්දකුමාර සිරිත කාව්‍ය ග්‍රන්ථයන් තුළ “යාපා මහරජ” යනුවෙන් ව්‍යවහාරවී ඇත්තේ පළමු රාජසිංහයන්ටම බව පෙන්විය හැකි වෙනත් සාක්ෂි රාශියකි.
කන්දකුමාර සිරිතේ ඇති කවිපන්තිවලින් ගම්‍ය වන යාපාවන් එම කවිවලදී නිතරම හඳුන්වා ඇත්තේ “මහරජු , රිවිකුල භූපති, එභූපා” වශයෙන් මිස ප්‍රාදේශීය රජකු ලෙස නොවේ. ලේකම් මිටයේද දැක්වෙන්නේ යුද්ධ කිරීමටම උපන් මහරජකු වහයෙනි. දේවාල කවිකාර මණ්ඩලයේ ගැයෙන කවි අතර රාජසිංහ යන නම පහත දැක්වෙන පරිදි හමුවෙයි.
පසඟතුරුගොස- යුගත සමුදුර- ගුගුල හඬ විල-සට ගුගුල්ලා
පතගකුල රජ- සිංහ රජු ජය- සිපත කරකව-මින් විදුල්ලා
මතඟ මතුගල- ගගන ගන කුළු- දෙරන වැලි ලෙස- කර වලල්ලා
මෙරඟ රණමුණ- පැමිණි රහු දුටු- නිමල මහ මෙර- වන් වෙවුල්ලා
මිට පෙර පළ කරන ලද “පළමු රාජසිංහයන් පිළිබඳ අප්‍රකට ජනකතාව” පවසන්නේ වසර 33 කට අධික කාලයක් මේ දේවාලය වෙනුවෙන්ම කැපවී ජීවිතය ගත කළ කපු නිළමේ වරයා වූ මංගලනාත බ්‍රාහ්මණගේ භාරතරත්න මහතා විසිනි. ඔහු සිය දේවාලය හා එම පුවත් පිළිබඳ හැමවිටම කතා කළ අයෙකි. කිසිවකුට පොත් පත්වල හමු නොවන තොරතුරු කියන බැවින් ඇතැමෙකු එතුමා ගැන සැලකුවේ තම හිතට එන එන දේ කියා දමන්නකු ලෙසිනි. ඔහුද යාපා මහ රජතුමා යන්න භාවිත කළත් ඒ පළමු රාජසිංහයන්ම බව ද පවසයි. හෙතෙම සිය කතාවන් වලදී තරයේම තම මතයේම එල්බ ගනිමින් එය කිසි විටක වෙනස් කිරීමට සූදානම් අයෙකු නොවීම විශේෂත්වයක් විය. සිය මුතුන් මිත්තන්ගෙන් දැනගත්තායයි පැවැසූ කතාවන්හි යාපා යනු රාජසිංහ දෙවියන්ම බව ඔහුගේ නිගමනය විය. “පළමු රාජසිංහයන් පිළිබඳ අප්‍රකට ජනකතාවක්” වශයෙන්2012 ජුනි 10 දින ප්‍රකාශයට පත්කර ඇති ලිපිය බලන්න. එදා සිට ප්‍රකාශයට පත් කරන ලද සෑම ලිපියකින්ම අවධාරණය වී හැඟවෙන්නේද මේ දැවැන්ත නිර්මාණය සහ නව ජනාවස බිහිවූ ගම්මානය ද මෙන්ම ස්ථාපිතව ඇති සිරිත් සම්ප්‍රදායන්හි ආරම්භය ද මහරජකුගේ සහභාගිත්වයෙන් ඇති වියහැකිකක් මිස ප්‍රාදේශිය ප්‍රධානියකුට න්රමාණය කිරීම අපහසු එකක් වියහැකි බවය.
පුරාණයේ සිටම උග්ගල් අලුත්නුවර පිහිටි අචාරි පංගුවට වෙන් වූ “හටන්පල” නමැති යකඩවානේ නිෂ්පාදන කර්මාන්ත ගම්මානය පිළිබඳව ඇති ලිපි වල ඇති ජනශ්‍රැතියේ හමුවන බොහෝ තොරතුරු මීට පෙර ලිපිවලින් ප්‍රකාශයට පත් කර ඇත. ඒවා ඇසුරු කරන විට ඉතා පැහැදිලිව පෙන්වන්නේ මේ පළමු රාජසිංහයන්ට අවශ්‍ය අවිආයුධ නිෂ්පාදනය වූ ගම්මානය බවයි.
රහසිගතව යුද සංවිධානයකට ලැබුණ භූගෝලීය පරිසරයේ පිටිවහල
උග්ගල් අලුත්නුවර පිහිටා ඇතිභූමි භාගය ලංකාවේ මධ්‍යකඳුකර දකුණේ ඇති මහවලතැන්න සානුවේ නැගෙනහිර සීමාව ආසන්නයයි. මේ හරහා වලයාකාරලෙස ගලායන වළවේ ගංගාව සහ ඊට එක්වෙන බෙලිහුල්ඔය, දෙනගංඔය හා දැනට වියලි නිම්න බවට පත්ව ඇති(මළ ආරවල් බවට පත්ව ඇති) රතවැල්ආර,පිටවල ආර වැනි ශාඛා ජාලයක් නිසා ජල දුර්ග, රැලිබිම පිහිටි ගල්පර්වත නිසා පැන නැගි ගිරිදුර්ග හා එකල වනදුර්ගයෙන්ද ගහන වූ බව පුරාණ ලේකම් මිටියේ විස්තර සහ ක්‍රි.ව.1712 ලියැවුනු කන්දකුමාරසිරිතේ කවි අනුව ද පෙනී යයි. එහි ඇති 84 වන කවිය පහත පරිදිවෙයි.
තුමුල් දිගු පුළුල් ගල්ටැන් පිහිටි අගල්වට උරඟ දරනෙව් මහත්නදි නා
විසල්තල් පොල් පුවක් උක් කෙහෙල් අඹද මෙපුර වට නැදුනුයන ලෙස් නා
කමල්විල් පුල් පතැස් පොකුණු ජලපිරි පමණ නැත ලද සුවඳ වැකු නා
මෙකල් කල් නුදුටු වර නමින් යුත් මෙපුරවර සේම ඇද්ද මුළු දෙර නා
ඒ නිසා පෘතුගීසි වැනි විදේශ සතුරනට ළඟාවිය නොහැකිවිය. එහෙයින් යුධ සංවිධානයේ යෙදෙන රජකුට රහසිගතව සංවිධාන කටයුතු කිරීමේ සුදුසුම ස්ථානයක් වූයේ මේ ප්‍රදේශයයි. වළගම්බා සමයේ පවා සතුරු බලයට එරෙහිව සංවිධාන කටයුතු සඳහා රැකවරණය දුන් බව පැවසෙන ස්ථාන රැසක් මේ ප්‍රදේශයේ වෙයි. මායාදුන්නේ රජු විසින් ඉහළ ගලගම පිහිටි තමාට රැකවරණය දුන් ලෙන විහාරස්ථානයක් බවට පත් කර ඇති බව එහි ඇති සන්නසක් සාක්ෂි දරයි. බෙලිගල විහාරස්ථානය හා කොට්ටිඹුල්වල විහාරස්ථානය යනු වළගම්බාවනට රැකවරණ දී පසුව පූජනීය ලෙන් විහාරස්ථානයන් බවට පත් කරන ලද තැන්වෙයි.
සොරගුණු දේවාලයේ තුඩපත්වල “යාපාරජු දුෂ්ට දුර්ජන පර සමයක්කාරයන් ප්‍රලය කරවා පලවා හරිනු පිණිස යාපාමහරජු පාතකට්ටුවට”ගිය බවක් දැක්වේ. නිසැකවම මේ දුෂ්ට දුර්ජන පරසමයක්කාරයන් සේ කතුවරයා දක්වා ඇත්තේ පෘතුගීසීන්ය. එකල පෘතුගීසීන්ට විරුද්ධව අඛණඩවම සටන් වැදුනු ලංකාවේ සිටි වීරවරයා වූයේ පළමු රාජසිංහයන් හෙවත් ටිකිරිකුමරුය. ටිකිරිකුමරුට “ටිකිරි රජ්ජුරු බණ්ඩාර යාපා”යනුවෙන්ද ව්‍යවහාර වූ බව 1599 ලියැවිනැයි පැවසෙන මානියම්ගම විහාරයේ තල්පත දක්වන විස්තර ඇසුරෙන් මහාචාර්ය අමරසිංහයෝ පෙන්වා දෙති. ඇතැම් තැනක මේ කුමරුන් හැඳින් වෙන්නේ ටිකිරි කුමරු වශයෙනි. ඒ අනුව “යාපා” යන කෙටි වදනින් මේ ප්‍රදේශයේදී රාජසිංහයන් හැඳින් වෙන්නට ඇතැයි සිතීම අසාධාරණ නොවේ. ඊට අමතරව එම තල්පතේම 1582 දී පළමු රාජසිංහයන් විසින් මැදගම මහසෙන් දෙවියන් උදෙසා දේවාලයක් කළ බව සඳහන්ව තිබීමෙන් තහවුරු වන්නේ ද උග්ගල් අලුත්නුවර කරවා ඇති යාපා මහරජතුමා යනු අන් කිසිවකු නොව පළමු රාජසිංහ නිරිඳුන් වන බවය.
Like this:
Like පුරණය වෙමින්...
ප්‍රතිචාරයක් ලබාදෙන්න
Pingback: මැද්දේගම රාජධානියේ ආරම්භය « sugv