උග්ගල් අලුත්නුවර දේවාලයේ “නානුමුර මංගල්‍යය”
(මීට පෙර ලිපිය යටතේ දැක්වෙන දේවාල කටයුතු පරිපාලන විධිවිධාන සම්බන්ධ දෙවන කොටස සේ සලකන්න)
දේවාලයේ දෛනික පිරිසිදු කම, සනීපාරක්ෂක සේවාව වැනි කර්යයන් වන අතුගෑම ගෙබිම ගොමපිරිමැද පවිත්‍ර කිරීම සහ මුළුතැන් බත් බෙදීම හා පිරිනැමීම සඳහා අවශ්‍ය කෙසෙලේ කොල සැපයීම වැනි ඉතා සුළු කාර්යයේ සිට දෙවියන් වැඩමවීම දක්වා වන උසස්ම කටයුතු දක්වා වෙන වෙනම “රාජකාරි” ස්ථාපනය වී තිබිණි.
සාමාන්‍ය පරිපාලනය පමණක් නොව ආදයම් පාලනය, මූල්‍ය විනය පවත්වා ගැනීම පිණිස දෛනිකව පියවීම හා වාර්ෂිකව විගණනය කිරීම වැනි අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පවා විධිවිධාන සැලසී ඇත්තේ විශ්මය ජනක අයුරෙනි. වර්තමාන ආයතනයක සිදුවන වාර්ෂික භාණ්ඩ සමීක්ෂණයකට සමානව සිදුවන අපූරු පිළිවෙතක් සේ අද පවා දැකිය හැකි පහත දැක්වෙන “පෙරසිරිත” පිළිබඳ විස්තර විමසන විට පෙනී යයි.
මහ පෙරහරට පෙරදින රාත්‍රීය, එනම් දෙවේලේ පෙරහර අවසන් දිනය රාත්‍රිය, දේවාලයේ සියලුම රාජකාරි මණ්ඩලයේ ඇත්තෝ දවස පහන් වනතුරුම දේවාලයේම රැඳී සිටීම පෙර සිටම පවතින චාරිත්‍රයකි. මේ දිනය උග්ගල් අලුත්නුවර දේවාලයේ “නානුමුර මංගල්‍ය දවස” වශයෙන් හැඳින් වේ. මේ රාත්‍රියේ දි පැවැත්වෙන රහස් රාජකාරි අවස්ථාව හැරෙනවිට අන් සියල්ල ඕනෑම කෙනෙකුට දැක බලාගැනීමට අවසර තිබිණි. ඒ නිසා 1993 සහ 1995 දෙවේලේ පෙරහර අවසන් දින අවස්තා දෙකක මේ දවස ගත වූ ආකාරය පිළිබඳ අත්දකින්ට අවස්ථාව ලැබිණි. එහිදී නිරීක්ෂණය වූ දෑ පහත සඳහන් පරිදි සාරාංශ කර දක්වා ඇත.
-
දෙවේලේ පෙරහරේ රාත්‍රී පෙරහර නිමවීමෙන් අනතුරුව රාජකාරිමණ්ඩලයේ අය රාත්‍රී ආහාරය පිරිමසා ගත්තේ මුළුතැන් බතින්මය. අත්තනායක මොහොට්ටාල නිළමේවරයා මෙන්ම සෙසු මොහොට්ටාල වරුද කපු නිළමේවරුද ඇතුළුව ඇතුළු කට්ටලයේ අය නිරන්තරවම දේවාලයේ රැඳී සිටියහ.
-
පිට කට්ටලයේ රාජකාරි භාර ඇතැම් දෙනෙකේ තම නිවෙස්වලට ගියමුත් ගිය විගසින් ආපසු පැමිණියහ. මේ දක්වා පැවති කුඹල් පෙරහර දේවේලේ පෙරහර ආදී අවස්ථාවන්හි රාජකාරි පැවරී නොතිබුණ් සෙසු අයද ස්වල්ප වේලාවකින් දේවාලය කරා පැමිණෙන්ට වූහ. බස්නායක නිළමේවරයා තමාගේ නිළ නිවාසයේ රැඳී සිටි අතර ඔහුගේ ලියනමහතා දේවාලයට පැමිණ සිටියේය.
-
රාත්‍රිය පුරා දේවාලය තුළ මෙන්ම මළුවේ ද බාහිර පරිශ්‍රයේද සියලු පහන් දල්වා තිබිණි. පරිශ්‍රයේ පෙරහර වීදි මාර්ග පසු දින සිට ආරම්භවන මහපෙරහර මහෝත්සවය සඳහා කටයුතු විධිවිධාන සැලසෙමින් තිබිණි. තාවකාලික කඩ පිල් ඉදිවෙම්න් නිමවෙමින් තිබිණි.
-
අත්තනායක මොහොට්ටාල නිළමේ දේවාලය තුළ සියලු කටයුතු සම්පූර්ණව ඇද්ද යන්න විමසමින් ගැටළු නිරාකරණය කරමින් සිටී.

-
ස්වල්පවේලාවකින් රත්නායක මොහොට්ටාල නිළමේවරයා විසින් දිග්ගෙයි පැවති “මහපෙට්ටගම” විවෘත කරන ලදී. අත්තනායක මොහොට්ටාල නිළමේගේ අධීක්ෂණය යටතේ සෙසු මොහොට්ටාලවරුන්ද කපු මහතාද පැමිණ පෙට්ටගමේ තිබූ සියලු දෑ පිටතට ගත්හ. මේ අවස්ථාවේ රැස්ව සිටි සියලු දෙනාම ඉදිරියේ සියලුම දේ අනාවරණය කෙරිනි.
-
පසු දින සිට මහ පෙරහරට අවශ්‍ය විශේෂිත ආම්පන්න හා සලු පිළී ආදිය ඒ ඒ තැනැත්තා අතට පත් කරන ලදී. සුළු වශයෙන් අබලන්ව තිබුණු භාණ්ඩවල අලුත්වැඩියාවන් හා පිස දැමීම හා ඔප දැමීම ද යුහුයුහුව කරන්නට වූයේ ඒ ඒ අයම විසිනි.

-
මෙදින දක්නට හැකි වූ විශේෂිත භාරධූර කාර්යයකි. “නවන්දන්නා පංගුවේ” රාජකාරි ඇත්තාට දේවාලයේ ඇති පෞරාණික පිත්තල භාණ්ඩ ඇතුළුව සියලුම ලෝහ භාණ්ඩ ද පිටතට ගෙන භාර දෙන ලදි. ඔහු ඒවා එකිනෙක පරීක්ෂා කරමින් අඩුපාඩු ගැන පෙන්වා දෙමින් අළුත්වැඩියා කළ අතර සෙසු දෑ ඔපදැමීමේ කාර්යයේ පැය හයකට වඩා කාලයක් නිරත විය. ඒ කටයුතුවලට තමාගේ ඊළඟ හිමිකරුවීමට නියමිත පුතණුවන් මිස අන් කිසිවකුගේ උපකාරයක් හෝ හවුල්වීමක්
ලබා ගත්තේ නැත. මේ ගැන ඇතිවූ කුතුහලය නිසා විමසිමේදි ඒවාට හවුල්වීමට හෝ අත තැබීමටවත් කිසිවකුට වරම් නැති බවත් යම් ලෙසකින් එසේ අත තැබුවත් එය දේව උදහසට හේතු වියහැකි බවත් කපුමහතාගේ පැහැදිලි කිරීම විය. මෙහිදී මෙතෙක් අබලන්ව තිබූ මහත් පෞරාණික වටිනාකමකින් යුතු ඇත්දළ වලින් නිර්මිත හොරණෑ කඳක් සැමගේම අවධානයට හා නිරීක්ෂණයට බඳුන් විය.

ඒ සඳහා ඉදිරි කෝප්ය සකස් කිරීමට අවශ්‍ය රදී ලෝහ කැබලි අත්තනායක නිළමේ වරයාගේ අනුමැතිය යටතේ කපු මහතා විසින් ලබා දුන් අතර බස්නායක නිළමේවරයාගේ ද අනුමැතිය යටතේ පසු දිනම එය සාදා ඉිදිරිපත් කරන බවට පොරොන්දු විය. හොරණෑවේ පහටිය රත්රන් වලින් සකස් කිරීම අවශ්‍ය වූයෙන් ඒ සඳහා අවශ්‍ය රත්රන් තමා විසින්ම සපයා දෙන බවට හොරණෑ ශිල්පියා වූ සරනේරිස් මහතා කියා සිටින ලදී. ඒ අනුව කටයුතු සැලසිනි. දේවාලයේ පුරාණ ගව පට්ටියේ ගොණුන් කර බැඳි සොකඩ ද මෙහිදී කාගේත් නිරීක්ෂණයට හසු විය. ඒවා පරිහරණයෙන්
බැහැරව ඇති බැවින් අළුත්වැඩියාවක් අවශ්‍ය නොවන බව තීරණය වූයෙන් නැවතත් පෙට්ටගමේ ම තැන්පත්විය. මේ සිදුවූ කටයුතු සියල්ල වර්තමාන රාජ්‍ය ආයතනයක සිදුවන සමීක්ෂණයකට සමාන නොවන්නේ දැයි වමසා බලන්න. -
විධායකමණ්ඩලයේ ප්‍රධානියා වූ අත්තනායක නිළමේවරයාගේ සහ සෙසු මොහොට්ටාලවරුන් හා කපුමහත්වරුන්ගේද උපදෙස් මත “සුද්දහළු” හා “රන්සළු” හෙවත් රත්නහළු පංගුවේ අය තමතමාට නියමිත ස්ථානයන්හි උඩුවියන් බැඳ සවිකිරීම දේවාලය තුළ රැලි පාලම් හා නව තිරවර්ග දැමීම ආදිය කළහ. (මහ පෙරහර වෙනුවෙන් බඳින ලද අරංගුව හෙවත් දේවාලය ඉදිරිපිට ඉදිකෙරෙන තොරණේ සැරසිලි කිරීම ද රාත්‍රියේම ඇරඹී තිබිණි.)
-
තම කටයුතු අවසන් වූ ඇතැමුන් අල්ලාප සල්ලාපයේ යෙදෙමින් තමපංගුවලට නියමිත ස්ථානවල රැඳී සිටියහ. සිට ඇරඹෙන පෙරහර කටයුතු පිළිබඳව හා දේවාලයේ සම්ප්‍රදාය පිළිබඳ ආවර්ජනයන් වීම අප වැනි අයට සවන්දීමට හා හැදෑරීම පිණිස මඑවැනි සියලු සාකච්ඡා පසුදිනහෝපකාරී විය. යම් යම් විශේෂිත අවස්ථාවන් සේයා ගත කිරීමට ද අවසර ලැබිණි.
-
මෙසේ ඉතා විවෘතව සියලු කටයුතු සිදුවෙමින් තිබුණත් එම රාජකාරි හැරෙන විට “දේවකාරි” හෙවත් බැතිමතුන් වෙනුවෙන් යාතිකා කිරීම් වැනි කටයුතු නවතා තිබිණි.
-
මැදියම් රැය පසු වීම සමග “ගණිත පංගුවේ” හෙවත් නැකත් සංඥා කරන රාජකාරි ඇත්තා පෑතැටිය තබා ඒ ගැන විමසිලිමත්ව සිටිනු දක්නට හැකිවිය.
-
හදිසියේ හේවිසි නාදය ආරම්භව වාදනය වෙමින් තිබිණි. නානුමුර මංගළ්‍ය අවස්ථාව කිට්ටු බව දැනමුත්තෝ කීහ. ඇතුල් කට්ටලයේ අය විසින් වැඩහිටින මාලිගයතුළ කරනු ලබන කිසිවක් අන් කිසිවකුට දක්නට අවසර නොවීය.වෛතාල වෙලාව නම් වූ අවස්ථාව එළඹෙන බව පිට කට්ටලේ දැනමුත්තකුගෙන් දැනගන්ට ලැබිණි.
-
දේවාභරණ “ආරශාලාව” හෙවත් සමහර දෙනකු ව්‍යවහාර කරන අන්දමට අහරතලාව වෙත වැඩමවා ගෙන යනු ලැබිණි.
-
මෙහි විශේෂත්වය වූයේ ඒ අවස්ථාවට වසරේ අන් කිසිම දිනක ඇතුලේ කටයුතුවලට සම්බන්ධ වීමට වරම් නොතිබූ “රන්සළු පංගුවේ” රාජකාරි ඇත්තාට සහ නවන් කරන පංගුව හෙවත් “නවන්දන්නා පංගුවේ” ඇත්තාද ඒ අවස්ථාවට සහභාගී කර ගැනීම විය. මේ සිදුවන්නේ නානුමුර මංගල්‍යයයි.





